Friday, November 22, 2013

රනිල් ගේ පාර්ලිමේන්තු මේසය යටට ලේ මාපිලෙකු ආවේ කෙසේද?

ඊයේ (21) ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී අයවැය යෝජනා කතාව පවත්වමින් සිටියදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ ලේ මාපිලෙකු සිට හසුවී ඇත. මෙය ඇදහිය නොහැකි තරම් බිහිසුනු සිදුවීමක් බවට පත්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිව්වෙනි පුරවැසියා ලෙස නම් කෙරෙන විපක්ෂනායක වරයා පාර්ලිමේන්තුවේ තම නිල කාමරයේ දීම ලේ මාපිල් දෂ්ඨයකට ලක්වන්නට ඉඩ තිබුනු නිසාය. එය කොතරම් කුතුහලකාරී ලෝක ප්‍රවෘත්තියක් වන්නට ඉඩ තිබුනාද යන්න සිතාගන්නටත් නොහැක.

රනිල් ගේ මේසය අසලම තිබෙන කුණු කූඩයේ ලේ මාපිලා සිටිනු දැක ඇත්තේ  ඔහුගේ පරිගනකයේ අන්තර්ජාල සම්බන්ධතාවය අළුත්වැඩියා කිරීමට පැමිණි පාර්ලිමේන්තු සේවකයෙකු විසිනි. ඒ වන විට අළුත්වැඩියා කාර්යය නිම වන තුරු විපක්ෂනායක වරයා අසල කාමරයකට වී සිට ඇත. අයවැය මොහොතේ ලත් විවේකයේ දී ආණ්ඩු පක්ෂ, එජාප මන්ත්‍රීවරු සුහද කතාබහේ යෙදුනු අවස්ථාවේ දයාසිරි මහ ඇමතිවරයාටත්, ගයන්ත එජාප මාධ්‍ය ප්‍රකාශකයාටත් මාපිල් කතාව ජෝක් එකක් වූ බවද , අනිකුත් මන්ත්‍රීවරුනට එකිනෙකා හින්ට් ගහ ගන්නට කදිම මාතෘකාවක් වූ බවද දැන් කවුරුත් දනිති. එහෙත් මෙය සැබැවින්ම විහිලුවක් වන්නේ ද?

මාපිලා විපක්ෂ නායක කාර්යාලයේ තබා ඇති ජීව මල් පැළයක දැවටී ඇතුළට එන්න ඇතැයි මතයක් ඇතිවී ඇත. මෙය තවත් භයානක තත්වයකි. අයවැය ඉදිරිපත් කරන්නට පෙර පාර්ලිමේන්තුවේ දැවැන්ත ආරක්ෂක මෙහෙයුමක් දියත් කරනු ලැබේ. ජනාධිපති ආරක්ෂක අංශය විසින් පාර්ලිමේන්තුව තුළ “ කෝම්බින් ඔපරේෂන් “ එකක් කරන බව කවුරුත් දනිති. විශේෂයෙන් පුහුණු කළ බල්ලන් යොදවා සෑම ස්ථානයක් ම ඉව කරවමින් යද්දී , මෙම මල් පැළයත්, කුණු කූඩයත් ඉව කරන්නට ඇත. ගෙඹි පැටියෙක් දැක්කත් බුරන අපේ ගෙවල්වල වල් බල්ලන් මෙන් නොව ජනාධිපති ආරක්ෂක අංශයේ පුහුණු බල්ලන්ට මාපිලා ඉව නොවැටීම අතිශය භයානකය. ඒ ඇයිද යත් ජනාධිපතිවරයාගේ කාමරයේ කුණු කූඩ ඉවකර බලන්නේත් මේ බල්ලන්ම නිසාය. ( සමහර විට උන් පුහුණු කර ඇත්තේ බෝම්බ හොයන්නට පමණක් විය හැක ) නමුත් ජනාධිපතිවරයාට දී ඇති ආරක්ෂාව මාපිලෙකු, පොළගෙකු නිසා ශුන්‍ය විය හැකි බැවිනි.

වැස්ස, අව්ව වැටෙන්නට එළියේ මිදුලේ තබා නැවත ගෙට ගන්නා මල් පෝච්චියක රිංගා  මාපිලුන් ට, පොළගුන් ට  පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ 3 වන මහලේ ඇති විපක්ෂ නායක කාර්යාලයට පැමිණෙන්නට හැකිනම් පාර්ලිමේන්තුව රැස්වන චේම්බරය තුළට හෝ පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට, ජනාධිපති කාර්යාලයට හෝ අරලිය ගහ මන්දිරයට ද මාපිලුන්, පොළගුන් ට පැමිණීමට ඇති හැකියාව සුළු කොට තැකිය යුතු නැත. ඒ මන්ද යත් ආරක්ෂක නිලධාරියෙකුට හෝ ඉවෙන් සතුරා සොයන බල්ලන්ට හෝ මාපිලුන්, පොළගුන් හසුවන්නේ නැති බැවිනි.


එබැවින් විහිළු නවතා මෙම සිදුවීම ගැන මනා පරීක්ෂණයක් කිරීම කාට කාටත් ගුණදායකය.

No comments:

Post a Comment